Monday, December 2, 2013

මිහිකත යන්තම් බෙරේ

මෑත ඉතිහාසයේ සිදුවූ ප්‍රබලතම ගැමා කිරණ විහිදුමක් පසුගියදා නිරීක්ෂණය කිරීමට හැකි වූ බව නාසා ආයතනයේ විද්‍යාඥයින් කියයි.
පෘථීවියෙන් ආලෝක වර්ෂ කෝටි 370ක දුරින් සිදුවී ඇති මෙම කිරණ විහිදුම හදිසියේවත් ඊට වඩා මදක් මෑතින් සිදුවුයේ නම් පෘථීවිය මේ වන විට දැවී අළු වී තිඛෙනු ඇති බව කියැවේ.
ගැමා කිරණ විහිදුමක් සිදුවන්නේ තරුවක් මිය යන විටදීය.විද්‍යාඥයින් පවසන ආකාරයට තරුවේ අංශු ඝණත්වය වැඩි වන තරමට එය මියයන අවස්ථාව එළැඹෙද්දී එයින් නිකුත් වන ශක්තියද ඉහළ යයි.තරුවක් මිය යන විටදී මහා පිපිරුමක් සිදුවන අතර ප්‍රබලත්වය අනුව නෝවා හෝ සුපර්නෝවාවක් ලෙස එය හදුන්වනු ලබයි.පිපුරුමෙන් පසු මෙම නෝවාවෙන් හෝ සුපර්නෝවාවෙන් විහිදෙන ශක්තිය විද්‍යුත් චුම්භක විකිරණයන් ලෙස ආලෝකයේ වේගයෙන් අභ්‍යාවකාශය පුරා විහිදේ.ගැමා කිරණ විහිදුමක් ලෙස හදුන්වන්නේ මෙවැන්නකි.
නෝවාවක හෝ සුපර්නෝවාවක දර්ශනය මල්වෙඩි සංදර්ශනයක් හා සමාන වන අතර විද්‍යාඥයන්ට අනුව නම් මෙවර ඔවුනට දැක ගත හැකිව තිඛෙන්නේ සියවසේ මල්වෙඩි සංදර්ශනයයි.
මියගිය තරුව සූර්යයා මෙන් 30 ගුණයක පමණ බරකින්ද සුර්යයාට වඩා ඉහළ ඝණත්වයකින්ද යුතු වූ වුවක් හෙයින් මෙසේ ප්‍රබල ගැමා කිරණ විහිදුමක් නිරීක්ෂණය කිරීමට හැකි වූවේ යැයි නාසා විද්‍යාඥයින් පවසයි.
මෙවන් මහා පිපිරුම් අභ්‍යාවකාශයේ ඇති තරුවල උපත හා විපත තීරණය කරන්නන් වේ.
පෘථීවිය ඇතුලූ අප සෞරග්‍රහ මණ්ඩලයද ඇතිවන්නට ඇත්තේ මෙවන් මහා පිපිරුමකිනැයි යන්න විද්වත් මතයයි.
මහා ධමනිය හීන් කරන මැෂිමක් එයි

ඉංජිනේරුවකු වූ ‍ටාල් ‍ගොලස්වර්ති උපතින්ම හෘද රෝගියෙකි. පදිංචිය බෙල්ජියමේ ය. වෛද්‍යවරුන් කියා සිටියේ ඊට හේතුව ජානමය බලපෑමක් බවයි. ඔහුගේ මහ ධමනිය ප්‍රසාරණය හෙවත් ටිකෙන් ටික විශාල වෙමින් තිබිණි. මේ රෝගය හේතුවෙන් ඔහුගේ රුධිරය දියරමය තත්ත්වයෙන් තබා ගැනීමට මුළු ජීවිත කාලය ම ඖෂධ ලබාගැනීමට සිදුව තිබිණි.
වෛද්‍ය විද්‍යාව නොදත් හෙතෙම සිය ඉංජිනේරු දැනුම උපයෝගී කැර ගනිමින් හදවතට අවශ්‍ය උපකරණයක් නිපදවූයේය. ඒ දැල් සහිත පොලියෙස්ටර් වැස්මකි. මේ උපාගය යොදා සිය මහ ධමනිය ප්‍රසාරණය වීම වැළැක්විය හැකිවන බවත් මහ ධමනිය එයින් ආවරණය කරන ලෙසත් ඔහු වෛද්‍යවරුන‍්ගෙන් ඉල්ලා සිටියේය. ටාල් ගේ පෙරැත්ත කිරීම අවසානයේ වෛද්‍යවරු පිළිගත්හ. ශල්‍යකර්මය සිදුකැරිණි. දැන් ටාල් සුවය ලබා ඇත. ඔහුගේ මහ ධමනිය ප්‍රසාරණය වීම ද නැවතී තිබේ. වෛද්‍යවරු පවසන්නේ මේ ඉංජිනේරුවා සෑදූ උපකරණය හදවතේ මහ ධමනිය ප්‍රසාරණය වීමේ මාරාන්තික රෝගයට ගොදුරුවී සිටිනි රෝගීන්ට සුදුසු ප්‍රතිකර්මයක් බවයි. වෛද්‍යවරු එම උපකරණය යොදා වයස අවුරුදු 16 ක් තරුණයකු ඇතුළු 40 දෙනකු දැනටමත් සුවපත් කළ බව වෛද්‍යවරු කියති.
මේ උපකරණය ගැන තොරතුරු පවසන ගොලස්වර්ති ලොව පුරා ශල්‍යවෛද්‍යවරුන්ට මෙහි සාර්ථකත්වය දැනුම් දෙමින් සිටියි. බ්‍රිතාන්‍යයෙන් පමණක් ජානමය හේතූන් නිසා අසාමාන්‍ය ලෙස අස්ථි වැඩීම සමහ පටක වර්ධනය වන රෝගීන් 12,000 ට වැඩි පිරිසක් සිටින බව එරට සංඛ්‍යාලේඛණ පෙන්වාදෙයි.
සාමාන්‍යයෙන් මහ ධමනියේ අගල් එකහමාරක් පමණ විශ්කම්භයකින් යුක්තය. රෝගය හේතුවෙන් එය අගල් හතරක් පමණ පළල්වේ. එවිට මහ ධමනිය පුපුරා යාමෙන් හා රුධිරයේ දියරමය ස්වභාවය අඩු විමෙන් මරණය සිදුවේ. මෙවැනි රෝගීන්ගේ මහ ධමනියේ ප්‍රමාණය ස්කැන් පරික්ෂාවකින්  තීරණය කැර රෝගියාට අවශ්‍ය පරිදි මේ  උපාංගය නිර්මාණය කරයි. එලෙස සාදන උපකරණය සැත්කම මගින් මහ ධමනියට සවිකැර පුතිසංස්කරණය කරයි. මහ ධමනිය දුර්වල විමට පෙර මෙම සැත්කම කිරීම අත්‍යාවශ්‍ය කරැණකි.
වල්ග හයක වල්ගාතරුවක් සොයාගනී

වල්ගා හයකින් යුතු විස්මිත වල්ගාතරුවක් සොයාගත් බව නාසා ආයතනය පවසයි. හබල් දුරේක්ෂය ආධාරයෙන් මෙය මුල්වරට දැක ඇත්තේ සැප්තැම්බර් 10 දින දීය.
එය දැනට පී/2013 පී5 ලෙස නම්කැර ඇත. කැලිෆෝනියා විශ්විවද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ජේවිත්, මැක්ස් ප්ලාන්ක් සහ සූර්ය නිරීක්ෂණ ආයතනයේ ආචාර්ය ජෙසිකා අග්‍රාවල්,  ජෝන් හොප්කින්ස් සරසවියේ එච්.වේවර් සහ ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ එස්.ලාර්සන් විසින් මේ ගැන පර්යේෂණ සිදුකැර ඇත.
ඔවුන් පවසන්නේ අඩි 790 ක් පමණ විශ්කම්භයකින් යුතු ඇස්ටරොයිඩයක් සේ දිස්වූ ඒ වටා බයිසිකල් රෝදය ස්පෝක් පිහිටන ආකාරයට විහිදී ඇති වල්ග හයක් දක්නට ලැබෙන බවයි. මෙහි ඇති විවිධ හැඩයෙන් යුත් වල්ග සැප්තැම්බර් 10දා දුටු ආකාරයට වඩා ඉන් දින කිහිපයකට පසු නිරික්ෂනය කරද්දී වෙනස් හැඩයක් ගෙන තිබූ බවයි.
''එය දුටු මොහොතේ අපි තුශ්නිම්භූත වී ගියා. ඒ වල්ගය විටින් විට වෙනස් වනවා. එය වචනයෙන් විස්තර කළ නොහැකි තරම් චමත්කාරජනක දර්හනයක්. " කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මාහාචාර්ය ඩේවිඩ් ඒ ගැන එසේ කීවේය.
විද්‍යාඥයන් පවසන්නේ දූලි වළාවේ වනස්වීම් යම් කිසි කෝණයකට අනුව සිදුවන බව සොයාගත හැකි වූ බවයි. එමෙන්ම එකවර විශාල පිපිරීමක් සිදුවීමෙන් දූවිලි ඈතට විහිදී යන බවක් පෙනේ යැයි ද ඔවුහු කියති. ඔවුන් පවසන්නේ ඉදිරියට මාස පහක්වත් මේ වස්තුව දූලි වළාන් විහිදුවනු ඇති බවයි.
ආචාර්ය ජෙසිකා අග්‍රවාල් පවසන්නේ තමන් ඇතුළු කණ්ඩායම නිතරම වල්ගාතරුව නිරීක්ෂණය කළ බවයි. ඔවුන් සොයාගත් තොරතුරු අනුව මෙය භ්‍රමණය වන වේගය අනුව දූවිලි වළාව ක්ෂය වී යන බව ඔහු කියා සිටියි.
මහාචාර්ය ජේවිත් මෙසේ පවසයි.
 “මේ වගේ වල්ග තරුවක් හැදෙන්න ගොඩක් කල් යනවා. මේවා මත උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 1,500ක් පමණ වනවා. ”
 රසාංකුර මෘදුකාංගයක්

අන්තර්ජාලයේ ඔබ දකින ආහාර වල රසයන් එවලේම ඔබගේ දිව වෙත දැනවීමේ සමත් උපාංගයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලාංකික මෘදුකාංග ඉංජිනේරුවෙකු ප්‍රමුඛ සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සමත්ව ඇත.
මෙම උපාංගය නිර්මාණය කිරීමට මූලිකත්වය ගෙන ඇති නිමේෂ රණසිංහ මහතා මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ (ගෞරව) උපාධිධාරියෙකි. අනතුරුව මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස ඩයලොග් හා ඉන්ටර්බ්ලොක්ස් ආයතනයන්ගේ සේවය කර ඇති හෙතෙම 2008 වසරේදී සිංගප්පූරුව බලා ගොස් ඇත්තේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමටය. සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු හදාරා ඉලෙක්ට්‍රෝනික හා පරිගණක ඉංජිනේරු තාක්ෂණය සම්බන්ධයෙන් වන ආචාර්ය උපාධියක් ලබා ඇති ඔහු දැන් එම සරසවියේම පර්යේෂකයෙකු ලෙස සේවය කරමින් සිටී.
අප ආහාර ගැනීමේදී ආහාර ඛේටයේ දියවේ. මෙම දියවීමේදී ආහාර වලට රසයන් ගෙන දෙන රසායනිකද ඛේටයට එක්වේ. අපට රසය දැනෙන්නේ මෙම ඛේටයේ දියවූ රසායනිකයන් හමුවේ දිවෙහි ඇති රසාංකුර නම් රස හදුනාගැනීමේ සමත් සංවේදකයන් උත්තේජනය වීම නිසාය. තිත්ත,ලූණු,ඇඹුල්,පැණි ලෙස ප්‍රධාන රසයන් 4 ක් හදුනාගැනීමේ සමත් රසාංකුර වර්ග 4 ක් මිනිස් දිවෙහි පිහිටා ඇත.
ආචාර්ය නිමේශ රණසිංහ ඇතුලූ ඔහුගේ පර්යේෂකයන් පිරිස කර ඇත්තේ මෙම රසාංකුරයන් කෘතිමව උත්තේජනය කිරීමේ සමත් උපාංගයක් නිර්මාණය කිරීමයි.මෙහිදී ආහාර ගැනීමකින් තොරවම රස දැනගැනීමේ හැකියාව භාවිතා කරන්නාට ලැබේ.
ආචාර්ය නිමේෂ රණසිංහ පවසන ආකාරයට ආහාරයක zzරසzz දැනගැනීමට මෙම උපාංගය දිවේ තුඩින් මදක් ස්පර්ෂ කිරීම පමණක් සෑහේ.
මෙහි කි්‍රයාකාරීත්වය ගැනද පැහැදිලි කරන ඔහු අර්ධ සන්නායක වලින් නිර්මිත මෙම උපාංගයේ සිදුවන සියුම් උෂ්ණත්ව වෙනස් වීම් හා විද්‍යුත් ධාරාවන්ගේ වෙනස් වීම් මෙසේ දිවෙහි රස සංවේදකයන් උත්තේජනය කරන බව කියයි.මෙම උෂ්ණත්ව වෙනස් වීම් හා විද්‍යුත් ධාරාවන්ගේ වෙනස් වීම් පාලනය කරනු ලබන්නේ පරිගණක වැඩසටහනකිනි.එම වැඩසටහනද ආචාර්ය නිමේෂ රණසිංහ ප්‍රමුඛ පර්යේෂක පිරිසගේ නිර්මාණයකි.
රස දැනවීමට අමතරව ආහාරයක් පිළිඹද සැළකීමේදී සුවදද වැදගත් වන හෙයින් රසත් සුවදදත් දැනවීමේ සමත් උපාංගයක් නිර්මාණය කිරීමටත් සැළසුම් කර ඇතැයි ඔහු කියයි.
උපාංගයේ භාවිතයන් ගැනත් සදහනක් කරන ඔහු දියවැඩියාව ඇති රෝගීන්ට පෙර රස විදි සීනි සහිත ආහාරයක රස විදගැනීමේ හැකියාව මෙයින් ලැඛෙනු ඇති බව පවසයි.තවද විකිරණ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ටද මෙම උපකරණයෙන් ඔවුනට තවදුරටත් සුදුසු නොවන එහෙත් ඔවුන් පෙර රසවිදි ආහාරයන්ගේ රසයවත් දැනගැනීමේ හැකියාව ලැඛෙනු ඇති බව කියයි.
ඒ කෙසේ වුවත් මෙම උපකරණය නිර්මාණය කිරීමේ අරමුණ මිනිසා අතත්‍ය යථාර්ථයට තවදුරටත් ළං කිරීම බව ඔහු පවසයි. දැනටමත් යථාර්ථයට වඩා අතත්‍ය යථාර්ථය ජීවිතයේ කොටසක් කරගෙන සිටින මිනිසා හට මෙවන් උපාංග භාවිතයත් ඉදිරියේදී වැදගත් වනු ඇති බව ඔහුගේ අදහසයි.
ඉදිරියේදී කෙතරම් ලෙව කෑවද ඉවර නොවන සීනි වැඩි යැයි කරදර වීමට සිදුනොවන ඩිජිටල් ‘සීනි බෝලයකුත්‘ නිර්මාණය කිරීමේ අදහසකුත් තමන්ට ඇතැයි ඔහු කියයි.
තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම උපකරණය තවදුරටත් වැඩිදියුණු කිරීමට ආචාර්ය නිමේෂ රණසිංහ ඇතුලූ පර්යේෂක පිරිස බලාපොරොත්තුවෙන් සිටී.
කොන්දේ රුදාවට මුල අඩි උස සපත්තු ?

ඇවිදීමේදී හා හිටගෙන සිටීමේදී අඩිය උස්සා නැති පැතලි පාවහන් පැළදීමෙන් කොන්දේ කැක්කුම් දුරුකැර ගත හැකි බව එංගලන්තයේ ලන්ඩන් නගරයේ කිංග්ස් විශ්වවිද්‍යාලයේ කරන ලද පරීක්ෂණයකින් අනාවරණය වී ඇත. පර්යේෂකයන් පවසන්නේ පැතලි පාවහන් දිනකට පැය දෙකක් පමණ පැළ
 සිටිමෙන් වේදනාකාරී කොන්දේ රිදුම් මගහැරිය හැකි බවයි.
පර්යේෂකයන් පවසන්නේ උල්වූ හැඩැති අඩි උස පාවහන් පැළ
දීමෙන් ඉරියව් ස්ථායී තත්ත්වයක් දක්නට ලැබුන ද ඇතිවන‍ කොන්දේ කැක්කුම විශාල ගැටළුවක් බවයි.කොන්දේ වේදනාවන්ගෙන් පෙළෙන කාන්තාවන් සංඛ්‍යාව දින දිනම ඉහළ යන බව ද පර්යේෂකයෝ පවසති. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දිනකට පැය දෙකක් වැනි කාලයක් පැතලි පාවහන් පැළ
ද සිටින පුද්ගලයකුට මාස හයකට පසු කොන්දේ වේදනාව සුවකැර ගත හැකි බව ද ඔවුන් පෙන්වාදෙයි
අයිසොන් ඉවරයි ?

ඉතා දීප්තිමත්ව දක්නට ලැබීම හේතුවෙන් සියවසේ වල්ගාතරුව ලෙස නම්කැරුණු අයිසොන් වල්ගාතරුව හිරුගේ ක්‍රියාකාරීත්වයට හසුව විනාශ වී යනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ කියති. අද හිරුට වඩාත් සමීපවන වල්ගාතරුවේ න්‍යෂ්ඨිය හිරුගේ උෂ්ණත්වය හා කිරණවල බලපෑමෙන් දැනටමත් බි
දී ඇති බව විද්‍යාඥයන්ගේ මතයයි. ඔවුන් පවසන්නේ අද සවස හෝ හෙට අළුයම අයිසොන් හිරු ආසන්නයේ දී පුපුරා විනාශ වීමට ඉඩ ඇති බවයි.
පසුගිය නොවැම්බර් 18 සිට 23 දක්වා අයිසොන් ශ්‍රී ලංකාවට ඉහළ නැගෙනහිර අහසේ දැකිය හැකි ලෙස ස්ථානගතවී පැවතිය ද අධික මීදුම හා වැසි සහිත කාලගුණය හේතුවෙන් මෙරට වැසියන්ට දැකගත නොහැකි විය. විද්‍යාඥයන් කියා සිටියේ හිරු ආසන්නයට යන වල්ගාතරුව යළි ආපසු හැරී එද්දී එය ශ්‍රී ලාංකිකයන්ට දැකගත හැකිවන බවයි.
ඇට කෑමෙන් මරණය කල් යයි

කජු, රටකජු, කොට්ටම්බා, වට්ටක්කා ඇට වර්ග ආහාරයට ගැනීමෙන් දීර්ඝායුෂ ලැබිය හැකි බව බ්‍රිතාන්‍යයේ ආහාර සංවිධාය විසින් කළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ. පිස්ටච්යොස් හා රටකජු වැනි ඇට වර්ග ආහාරයට ගැනීමෙන් ශික්තිජනක බීම හා විටමින් පානය කරන අයකුට වඩා දිගු කල් ජීවත්විය හැකි බව ඇමෙරිකාවේ බූස්ටන් සරසවියේ පිළිකා පර්යේෂණ හා නිවාරණ ආයතනයේ වෛද්‍ය චාර්ල්ස් ෆච්ස් පවසයි.
ඔවුන් මේ පර්යේෂණය සදහා වසර 20ක කාලයක් පුද්ගලයන් 119,000කගේ ජීවන රටාව අධ්‍යයනය කැර තිබේ. සතියේ දින හතම ඇටවර්ග අහුරක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ආහාරයට ගත් මිනිසුන් මරණයට පත්වීමේ අවස්ථාව සාමාන්‍ය පුද්ගලයකුගේ මරණයට පත්වීමේ කාලයට වඩා පස් ගුණයකින් අඩු වී ඇති බවත් සතියකට එක් වතාවක් ඇට වර්ගයක් ආහාරයට ගත් පුද්ගලයන් මරණයට පත්වීම සියයට හතකින් අඩුවී ඇති බවත් මේ පර්යේෂණයෙන් හෙළි‍වී ඇත. ඔවුන් විසින් කරන ලද පර්යේෂණයේ වාර්තාව බ්‍රිතාන්‍යයේ නව වෛද්‍ය පර්යේෂණ සදහා වූ ජර්නලයේ ප්‍රකාශයට පත්කැර තිබේ.
පෝෂ්‍යදායී සමබල ආහාර වේලක් යන සංකල්පයට වඩා ඇටවර්ග ආහාරයට ගැනීමෙන් මරණය ඈත් කැරගත හැකි බව පර්යේෂණ කණ්ඩායමේ සාමාජිකාවක වන සයන් ක්ලාර්ක් මහත්මිය පවසයි. ඇය වැඩිදුරටත් පෙන්වා‍ දෙන්නේ ඇට සහිත ආහාර පිළිකා සමග සටන් කරනු ලබන සූක්ෂම අණුක සහිත සෛල වලින් සමන්විත බවයි. එමෙන්ම තඹ, තුත්තනාගම්, යකඩ, මැග්නීසියම් අඩංගු ඇට වර්ග හේතුවෙන් ශරීරයේ අවයව ක්‍රියාකාරීත්වය වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට ද හැකිවන බව පර්යේෂකයන්ගේ අදහස වී ඇත.
මේ ඇට මේද සහිතය. ‍ඇට වර්ගවල ඇති මේදය මගින් අඝාතය සහ හෘද රෝග වළක්වාලයි. පර්යේෂකයන් පවසන්නේ චොකලට් පැකට්ටුවක් කනවාට වඩා කෙදි සහිත ඇට වර්ගයක් ආහාරයට ගැනීම ප්‍රයෝජනවත් බවයි. සෑම ගෙඩිවර්ගයකම ඒවායේ විශේෂිත වූ වාසි ඇත. ඇතැම් ගෙඩි වර්ග විටමින් වලින් අනූන වන අතර ඇතැම් ගෙඩි වර්ග ඔමෙගා තුන නමැති මේද වර්ගයෙන් සංතෘප්තව තිබේ.
ක්ලාර්ක් මහත්මිය වැඩිදුරටත් පෙන්වාදෙන්නේ කොට්ටම්බා වැනි ගෙඩිවල ලෙල්ල ආහාරයට එක්කැර ගැනීම වඩාත් වාසිදායක බවයි.
''කොට්ටම්බා ලෙල්ල ඉතාමත්ම පෝෂ්‍යදායී ආහාරයක්. එහි ප්‍රෝටීන් හොදින් අඩංගුවනවා. කොට්ටම්බා ගෙඩි 20-25 ක් ගත් විට එහි කැලරි 163 ක් තිබෙනවා. සමට සහ ස්නායු පද්ධතිය නි‍රෝගීව තබා ගැනීමට කොට්ටම්බා උපකාරි වනවා. ඒ වගේම දත් සහ අස්ථි ප්‍රතිශක්තීරණයට හා ඇසේ පෙනීම යහපත්ව තබා ගැනීමටත් කොට්ටම්බා වැදගත්. කජු මද 16ක් 18 ක් ගත විට එහි කැලරි 163 ක් තිබෙනවා. යකඩ හා තුත්තනාගම් වලින් සමන්විත කජු රුධිරයේ ඔක්සිජන් පරිවහනයට විශාල වශයෙන් උදව් කරනවා. ඒ වගේම රටකජු ද පෝෂණයෙන් අනූන ආහාරයක් මේ සියල්ල මිනිසුන්ගේ මරණය කල් දැමීමට උපකාරී වන බව ස්ථිරයි "
මෙම වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත්තේ ධාන්‍ය ලෙස සමාන්‍ය භාවිතයේ ඇති ඇට වර්ග නොව ඔවුන් පවසන ආකාරයේ ඇට වර්ග ආහාරයට ගැනීමෙන් ස්ථුලතාව ඇති නොවන බවයි. එමෙන්ම එවැනි ඇට වර්ග කෑමට ගන්නා පුද්ගලයන් දුම්පානය ප්‍රිය නොකරන බවත්, ව්‍යායාම වලට වැඩි කැමැත්තක් දක්වන බවත්, පළතුරු සහ එළවළු ආහාරට රුචි බවත් පර්යේෂණ වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.